එජාපයේ මීලග නායකයා රුවන්- සජිත් නෙමේ- ඇමති විමල් කියයි…………

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර හයකට දීර්ඝ කරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම අරමුණවී ඇත්තේ තමන්ගෙන් පසු තම ඥාති පුත්‍රයා වන රුවන් විජයවර්ධන මහතාට නායකත්වය පවරාදීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කරගැනීමෙන් මේ බව පැහැදිලි වන බවද ඇමැතිවරයා පවසයි. වික්‍රමසිංහ මහතාගේ මේ ක්‍රියාව නිසා සජිත් ප්‍රේමදාස මහතාට ඉතිරිවී ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණක් බවත් කීවේය.

ඇමැති විමල් වීරවංශ මහතා මේ පව පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මහවැලි කේන්ද්‍රයේ ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂය පසුගිය සමයේ ලැබූ අතිවිශාල දේශපාලන පරාජවලින් පසුව වුවද පක්ෂය හැර නොගිය, ඩී.එස්. සේනානායක මහතාගේ යුගයේ සිට එජාපය වෙනුවෙන් ගම්මට්ටමින් පාරම්පරිකව දේශපාලනය කළ අය පවා පක්ෂ නායකයාගේ ‍ක්‍රියාකලාපය නිසා මෙවර සන්ධානය සමඟ එක්වෙමින් සිටින බවද විමල් වීරවංශ මහතා කීවේය.

මෙවර පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක වන බව කී ඒ මහතා කාගේ අතින් මැතිවණ නීතිය උල්ලංඝණය වුවද ඔවුන්ට එරෙහිව ආරක්ෂක අංශ හා පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම යහපත් ප්‍රවණතාවක් බවද කීවේය. මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශවලට අනුකූලව මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවෙත උපදෙස් දී ඇති බවත්, ඒ අනුව මනා ශික්ෂණයකින් යුතු මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනු දැකගත හැකිව තිබෙන බවත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නායකත්වයට ගෙන ඒමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදියකු මෙහිදී නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පැවැසුවේ ජනාධිපතිවරයාට එවැනි අරමුණක් තිබෙන්නේ නම් නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ප්‍රබල තැනකට ගෙන ආයුතු වුවද ඒ මහතාට තනතුරු කිසිවක් ලබාදී නොමැති බවත්, ඔහු සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටින බවත් ය. එසේම නාමල් රාජපක්ෂ මහතා සිය දක්ෂතාව සහ හැකියාව මත ඉදිරියට එනු ඇති බවත් පැවැසීය.