ත්‍රස්තවාදාය පැරදවීම ගැන කවුරුත් කම්පා විය යුතු නෑ-ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කියයි……..

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සම්බන්ධයෙන් කිසිවකු කම්පාවිය යුතු නැතැයි එක්සත් රාජධානිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවට සාමය උදාකර ගැනීමත් සමඟ දකුණු ආසියාවේ ව්‍යාපාරික දර්ශකය තුළ ඉහළින්ම සිටින බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 173වැනි වාර්ෂික මහා සභා රැස්වීම සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ගත වූ වසර කිහිපයේ දී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම විශාල ප්‍රගතියක් ලබා තිබෙන බවයි.

ලෝකයේ ව්‍යාපාරික හා වාණිජ දර්ශක රැසක ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙන බව සඳහන් කළ ඒ මහතා රටේ සාමය තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන හා ආයෝජන වෙළෙදපොළ වඩාත් පුළුල් වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සිදු කෙරෙන වෙළෙද ගනුදෙනු සියයට 14කින් ඉහළ ගොස් තිබෙන බවයි. ඊට අමතරව මෑත කාලයේ දී බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණ තිබෙන බවද කීය