සාම සාධක මෙහෙවරෙන් ලංකාවට රුපියල් බිලියන 19 ක්………

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙවරවලට සහභාගිවීමෙන් 2004 වසරේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකාවට රුපියල් බිලියන 18.4 ක මුදලක් හිමිවී තිබෙනවා. කෙසේ නමුත් ඉන් රුපියල් බිලියන 12.3 ක් ඍජුවම සාම සාධක මෙහෙවරට සහභාගි වූ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට වැටුප් ලෙස ගෙවා ඇති බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කළේ. සාම සාධක කටයුතු සඳහා යවනු ලබන උපකරණ ආදිය සඳහා ප‍්‍රතිපූරණ ගාස්තු ලෙස ලැබී ඇති මුදල රුපියල් බිලියන 5.9 ක්. මේ වනවිට ලොව පුරා ජගත් සංවිධාන සාම සාධක කටයුතුවලට සහභාගිවන මෙරට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 1000 කට ආසන්නයි. ඉන් 750 දෙනෙකු හයිටි රාජ්‍යයේ සිටින අතර ලෙබනනයේ 150 දෙනෙකු රැඳී සිටිනවා. මීට අමතරව සාම සාධක භටයන් සහ නිරීක්ෂකයන් ලෙස කොංගෝව, බටහිර සහරා, සුඩාන යුද මුක්ත කලාපය සහ දකුණු සුඩානය යන අප‍්‍රිකානු ප‍්‍රදේශවලද මෙරට ආරක්ෂක හමුදා භටයන් කටයුතු කරන බව සඳහන්. මීට අමතරව නැගෙනහිර ටිමෝරයේ ද සාම සාධක භටයන් ලෙස මෙරට පොලිස් නිලධාරීන් කටයුතු කරනවා. හයිටියේ සහ ලෙබනනයේ සේවය සඳහා යන ශ‍්‍රී ලාංකික ආරක්ෂක හමුදා භට කණ්ඩායම් සෑම මාස 6 කට වරක්ම මාරු කෙරෙන අතර මීළඟ සාම සාධක භට කණ්ඩායම අගෝස්තුවේදී හයිටි බලා යාමට නියමිතයි. විදේශයන්හි සාම සාධක කටයුතුවල නිරතවීම සඳහා මෙරට ආරක්ෂක හමුදාවලට පුහුණුව ලබාදීම සඳහා කුකුළේගඟ ප‍්‍රදේශයේ විශේෂ පුහුණු කඳවුරක්ද පිහිටුවා තිබෙනවා.