කොටි තහනම තව වසර දෙකකින් දික් කරන්න , ඉන්දියාව පියවර ගනී ………..

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර දෙකකින් දීර්ඝ කිරිමට ඉන්දීය රජය තීරණය කර ඇත.

ශේෂ වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කොටස් ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තය තුළ යළි සංවිධානය වී ත්‍රස්ත ක්‍රියාකාරකම් වල නිරතවීමේ උත්සාහයක් පවතින හෙයින් මේ තීරණය ගෙන තිබෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිතම්බරම් මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් එරට මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.

ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා පවතින අවස්ථාවන් අහිමි කිරීමේ අරමුණ ඇතිව නීති විරෝධී කි‍්‍රයාකාරකම් වැළැක්වීමේ පනත යටතේ මෙම නියෝගය කි‍්‍රයාත්මක කරන බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාවක් විසින් 1991 වර්ෂයේදී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරිමෙන් අනතුරුව 1992 සිට සෑම වසර දෙකකට වරක් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉන්දියාව තුළ තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගත් බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කර ඇත.

නීති විරෝධී කි‍්‍රයාකාරකම් වැළැක්වීමේ පනතට අනුව පසුගිය 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි එල්.ටී.ටී.ඊ තහනම යළිත් වසර දෙකක් සඳහා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත් අතර මේ වනවිට රටපුරා නිදහස් හා සාමකාමී වාතාවරණයක් ස්ථාපිතව තිබේ. ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කළද ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.