පෙරටුගාමියෝත් දෙකට බෙදෙති……..

ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගිය කණ්ඩායම පිහිටුවාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළද නැවත බෙදීමක් හටගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. දිමුතු බණ්ඩාර අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක්, සේනාධීර ගුණතිලක නොහොත් ඕපාත මහත්තයාගේ කණ්ඩායමට එරෙහිව මේ වන විට අභ්‍යන්තර ගැටලු ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයද නැවත ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මගේම යන තත්ත්වයක් ගැන ඔවුහු චෝදනා කරති. මේ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළද විකල්ප කණ්ඩායමක් නිර්මාණය වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායම ලෙස  ඉදිරියට යාම වෙනුවට නව පක්ෂයද සාම්ප්‍රදායික වමේ පක්ෂයක් ලෙස ගමන් කරන පක්ෂයක් වී ඇතැයි මෙම විකල්ප කණ්ඩායමේ අදහස වී තිබේ.මෙයින් සිදුවන්නේ වමේ පක්ෂවලට තිබෙන ඡන්ද ටික බෙදී ගොස් වමේ නියෝජනය අහෝසිවීම යැයි ඔවුන් කියා සිටියි.
එම කණ්ඩායම  ඉදිරියේදී පක්ෂයෙන් ඉවත්වනු ඇතැයිද මේ වන  විට පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ කළ විමසීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ පක්ෂය තුළ මතවාදී සංවාදයක් ඇතත් බෙදීමක් නැති බවයි. පක්ෂයක් නිර්මාණය කරද්දීත්, පක්ෂයක් ලෙස වැඩ කරද්දීත් සංවාද ඇතිවන බව පැවසූ ජයගොඩ ඒ සංවාද සමහරක් මේ වන විට අවසන්ව ඇතැයිද කීය. එයින් පක්ෂයක් බෙදුණු බවක් කිව නොහැකි යැයිද ඔහු පැවැසීය.