රිකී පොන්ටින් එක්දින ක්‍රිකට්වලින් සමුගනී…..?

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා නම් කළ සංචිතයෙන් සුපිරිපිතිකරු රිකී ‍පොන්ටින් ඉවත් කර තිබේ.
මෙවර තරගාවලියේ තරග 5කදී පිළිවෙළින් 2, 1, 6, 2, 7 ලෙස අසාර්ථක වූ ‍පොන්ටින්ගේ එක් දින ක්‍රිකට් දිවිය මෙතැනින් අවසන් වනු ඇතැයි පැවසේ.
ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි උප නායක ෂේන් වොට්සන් නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර, නායක මයිකල් ක්ලාක්ද ලබන සිකුරාදා තරගයට සූදානමින් සිටියි.
මෙවර තරගාවලියේදී හොඳින් පන්දු යැවූ මිචෙල් ස්ටාර්ක්ටද ස්ථානය අහිමි වී ඇති අතර, රයන් හැරිස්ගේ ස්ථානය තහවුරු වී තිබේ.
ෂේන් වොට්සන්ගේ පැමිණීමත් සමගම වොට්සන් සහ වෝනර් ඉනිම ඇරඹීමට නියමිතව ඇති අතර, මැතිව් වේඩ් මැද පෙළට එක්වෙයි.
ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය
මයිකල් ක්ලාක් (නායක), ෂේන් වොට්සන් (උප නායක), ඩේවිඩ් වෝනර්, පීටර් ෆොරස්ට්, ඩේවිඩ් හසී, මයිකල් හසී, ඩෑන් ක්‍රිස්ටියන්, මැතිව් වේඩ්, ෂේවියර් ඩෝර්ටි, බෙන් හිල්ෆන්හාස්, බ්‍රෙට් ලී, රයන් හැරිස්, ක්ලින්ට් මැකේ